අපගේ දැක්ම
ඵලදායී රාජ්‍ය සේවයක් තුලින් මහජනතාවට තිරසාර සංවර්ධනයක් ඇති කරලීම
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් , කාර්යක්ෂම , තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම
මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර බටහිර මැතිවරණ බල ප්‍රදේශයේ පිහිටා ඇත. එය උතුරින් වව්නියා දිස්ත්‍රික්කයෙන් ද , දකුණින් නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන්ද, නැගෙනහිරින් මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන්ද , බටහිරින් මන්නාරම් දිස්ත්‍රික්කයෙන් ද මැදි වූ වර්ග කි.මි 634.88 ක විශාලත්වයෙන් යුතු භුමි ප්‍රමාණයකින් යුක්තය.
වැව් බැදි රාජ්‍ය ලෙස විරුදාවලිය ලත් රජරට පළාතේ ප්‍රාදේශිය මහලේකම් කොට්ඨාශ 22 න් මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තිස් වසරක යුද සමයක් තුල කටුක අත්දැකීම් ලත් හුදකලා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් බවට අදටත් පත්ව ඇත්තේ අනුරාධපුර නගරයෙන් දුර බැහැරව අනුරාධපුර බටහිරින් පිහිටා තිබීමත් ප්‍රාදේශීය ලේකම් කාට්ඨාශය පසුකර යමින් තවත් ප්‍රධාන නගරයකට ප්‍රවිශ්ඨ වීමේ මාර්ගයක් නොමැතිකමත් නිසාවෙනි.
කොට්ඨාසයට අයත් භූමි ප්‍රමාණයෙන් කොටසක් විල්පත්තු ජාතික වනෝද්‍යානයද ආවරණය කරන අතර එම ආවරණ භූමි ප්‍රමාණය විල් පහකින් යුක්ත වන බැවින් විල් අංචිය (විල් පහක් සහිත ප්‍රදේශය) යන අරුත මේ වන විට විලච්චිය ලෙස භාෂා විකසනයට ලක්ව ඇත.
ආයතනයේ විකාශනය
මහවිලච්චිය ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාසය ආරම්භවූයේ 1988.01.14 දිනය. මෙය ග්‍රාම නිලධාරි කොට්ඨාශ 06 කින් සමන්විත විය. ප්‍රථම ප්‍රාදේශීය උප දිසාපති වරයා වූයේ බී.ඇම්. සුනිල් තිලකරත්න මහතාය. එවකට කාර්ය මණ්ඩලය ප්‍රධාන ලිපිකරු ඇතුළු ලිපිකරුවන් 04 දෙනෙකුගෙන් ද එක් සුළු සේවකයෙකුගෙන් ද සමන්විත විය. 1992 වර්ෂයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආරම්භ කිරීමත් සමග මහවිලච්චිය ප්‍රාදේශීය උප දිසාපති කාර්යාලය මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උප කාර්යාලයක් ව පැවතිනි.
මහවිලච්චිය ප්‍රාදේශීය උප දිසාපති කාර්යාලය 1998.05.13 වන දින පටන් ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයක් බවට උසස් කරන ලදී. වර්තමානය වන විට කොට්ඨාසය ග්‍රාම නිලධාරි කොට්ඨාස 17 කින් හා ගම්මාන 137 කින් සමන්විත වන අතර එයින් ගම්මාන 34 ක් ඔල ගම්මාන වේ. කොට්ඨාශය සුළු වාරි මාර්ග 136 කින් හා මහා වාරිමාර්ග 01 කින් සමන්විත වේ. මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සදහා වෙනම ප්‍රාදේශීය සභාවක් නොමැති අතර, එය මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය යටතේම ක්‍රියාත්මක වේ. මේ අයුරින් විවිධ වෙනස්වීම්වලට භාජනය වෙමින් අද පවත්නා තත්වය දක්වා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිනෙන් දින දියුණුව කරා පියමනිමින් සිටී.
අපේ උරුමයන්
තන්තිරිමලය
ක්‍රි.පූ. තුන්වන සියවසේදී තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස බුදු දහමේ පහස ලද අප උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබන්නට තරම් පූණ්‍යවන්තය. එදා සගමිත් තෙරණින් වැඩම කළ උතුම් බෝධිය පිළිගත් දෙවනපෑතිස් රජු ඇතුළු පිරිස නවාතැන් ගත් ස්ථානය එදා තිවක්ක බමුණු ගම අද තන්තිරිමලය ලෙස ලොවම සුප්‍රසිද්ධය. ඓතිහාසික වටිනාකමකින් යුත් තන්තිරිමලය පසු කාලීනව ලක්දිව පාලනය කල දුටුගැමුණු මහරජු සහ පුත් සාලිය කුමරු අශෝක මාලා යුවලද වැදුම් පිදුම් කරමින් ආරක්ෂා කරන ලද පූජනීය ප්‍රදේශයකි.
මහවිලච්චිය වැව
ඓතිහාසික උරුමයක් වන මහවිලච්චිය වැව ප්‍රදේශයට මෙන්ම ජන ජීවිතයටද මහත් අස්වැසිල්ලක් ලබා දෙයි. අනුරාධපුර නගරයට සැතපුම් 18 ක් පමණ බටහිරින් වූ අවුරුද්දේ වැඩි කාලයක් සූර්ය තාපයෙන් බැට කන්නාවු විලච්චියටත් එහි වෙසෙන ජනාවගේ සිත් තුලටත් යම් සිසිලසක් ලබා දෙන්නේ නම් ඒ මහවිලච්චිය වැවයි. විලච්චිය ජනතාවගේ සියලු ක්‍රියාකාරකම් වලට වක්‍ර මාර්ගයෙන් හෝ විලච්චිය වැව සම්බන්ධ යැයි සිතීම වඩාත් නිවැරදි කරුණක් ලෙස හැගෙයි. ක්‍රි.ව. 140 ක් තරම් ඈතට දිව යන පැරණි ඉතිහාසයට උරුමකම් කියන මහවිලච්චිය වැව පැරණි වාරිකර්මාන්තයේ දැවැන්තයකු වූ වසභ රජතුමාගේ තවත් නිර්මාණයකි. දැනට අක්කර අඩි 31500 ක් පමණ ජල ධාරිතාවක් සහිත වූ මේ මහා වැවේ ඉතිහාසයට සාලිය අශෝකමාලාද යම් හෙයකින් හෝ දායක වී ඇතැයි පැරැන්නන් සිතයි. එහිදී ඔවුන් එම ජනප්‍රවාදයට, දැනට විල්පත්තුවේ අභාවයට ගොස් ඇති කුඩා විලච්චිය වැවත් සම්බන්ධ කිරීම අපූරු සිදුවීමකි.
1988 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| බී.එම්.සුනිල් තිලකරත්න මයා | 1988 | 1990 |
| පී.කේ.ප්‍රියන්ත කුමාර මයා | 1990 | 1993 |
| රත්නායක මයා | 1993 | 1997 |
| ඒ.එම්.ඩබ්.ඒ.අමුණුගම මයා | 1997 | 1999 |
| අශෝකා අළවත්ත මිය | 1999 | 2000 |
| ජී.විජිත නන්ද කුමාර් මයා | 2000 | 2006 |
| ආර්.එම්.පී.රත්නායක මයා | 2006.03.08 | 2007.08.26 |
| ජේ.ඩබ්.එස්.කිත්සිරි මයා | 2007.08.27 | 2011.01.05 |
| එන්.එම්.එන්.ආර්.බී.නවරත්න මයා | 2011.01.06 | 2012.07.18 |
| ජේ.එම්.එස්.පී.බී.ජයතිලක මයා | 2012.07.30 | 2013.06.18 |
| ඊ.ආර්.තිලකරත්න මයා | 2013.06.19 | 2019.05.27 |
| එන්.එච්.ආර්.නිශාන්ත මයා | 2019.05.30 | 2019.10.17 |
| මංජරී සී. චන්ද්‍රදාස මිය | 2019.10.17 | මේ දක්වා |















